ටෙඩ් කසින්ස්කි
තියඩෝර් ජෝන් කසින්ස්කි (1942 මැයි 22 – 2023 ජුනි 10) නොහොත් Unabomber (උච්චාරණය: යූනාබොමර්) යනු ඇමරිකානු ගණිතඥයෙක් සහ ගෘහස්ථ ත්‍රස්තවාදියෙක් විය. ගණිතයෙහි ප්‍රවීණයෙක් වුවද, ඔහු 1969 වර්ෂයේදී සරල ජීවන ක්‍රමයකට යොමු වීම පිණිස සිය ශාස්ත්‍රීය වෘත්තිය අත්හැරීය. 1978 සහ 1995 වර්ෂ ඇතුලත ඔහු විසින් දියත් කරන ලද තැපැල් බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් තිදෙනෙකු මරණයට පත් වූ අතර, 23 දෙනෙකු තුවාල ලැබීය. ප්‍රහාර වලින් ඉලක්ක කෙරුනේ නවීන තාක්ෂණයේ ප්‍රගමනයට සහ ස්වභාවික පරිසරයේ විනාශයට දායක වනවා යැයි කසින්ස්කි විශ්වාස කළ පුද්ගලයන් ය. Industrial Society and Its Future (අර්ථය: කාර්මික සමාජය සහ එහි අනාගතය) යන නමින් ඔහු ලියූ වචන 35,000 කට අධික වූ ප්‍රකාශනය මගින් කසින්ස්කි කාර්මීකරණය සහ වාමාංශික දේශපාලනය විවේචනය කළ අතර, සොබාදහම කේන්ද්‍රකරගත් අරාජිකවාදී අදහස් ඉදිරිපත් කළේය.